Wednesday, November 15, 2017

වත්කම් යනු


ව්‍යාපාරයක සිදු වූ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ සම්පත් වත්කම් ලෙස කෙටියෙන් හදුන්වනු ලබයි.
උදා: ව්‍යාපාරය විසින් මිලට ගත් යන්ත්‍ර
        ව්‍යාපාරය විසින් මිලට ගත් මෝටර් රථ

කිසියම් අයිතමයක් වත්කමක් ලෙස ගිණුම් වාර්තාවල පෙන්නුම් කිරීමට නම් එහි,
  • පිරිවැය/වටිනාතම විශ්වාසදායි ලෙස මැනීමට හැකි විය යුතු ය.
  • වත්කම් තුළින් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ලැබිය යුතුය.

උදා :
· ව්‍යාපාරයක් විසින් මිලටගත් යන්ත්‍රයකින් භාණ්ඩ නිෂ්පාදනය කර විකුණු විට ඉදිරියේ දී ව්‍යාපාරයට මුදල් ගලා ඒම
·  මිලදී ගත් භාණ්ඩ තොගයක් අනාගතයේ දී විකිණීමෙන් ලාභ ලැබීම

විශේෂයෙන්ම යම් අයිතමයකින් අනාගත ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන්නේ නම් ඒවා වත්කම් ලෙස සැලකිය නොහැකි ය. එමෙන් ම යම්කිසි දෙයක් ව්‍යාපාරයේ වත්කම් ලෙස සැලකීමට නම් ඒවා ව්‍යාපාරය විසින් පාලනය කළ යුතු වේ. එනම් ව්‍යාපාරයේ අභිමතය පරිදි පාලනය කිරීමටත් ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමටත් ව්‍යාපාරයට හැකිවිය යුතුය.
උදා: 
කුලියට ගත් ගොඩනැගිල්ලක්, යන්ත්‍රයක් හෝ වාහනයක් ව්‍යාපාරයේ වත්කමක් ලෙස සැලකිය නොහැක. එසේ වත්කමක් ලෙස සැලකිය නොහැක්කේ කුලියට ගත් දේ ව්‍යාපාරය විසින් පාලනය නොකිරීමයි.

මේ අනුව, වත්කමක පහත සඳහන් ලක්ෂණ දැකිය හැකි ය.
  •        අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම
  •      ව්‍යාපාරයේ පාලනයට  යටත්වීම
  •      අනාගතයේ දී වයාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම


මෙම ලක්ෂණවලට අනුව වත්කමක් යන්න පහත සඳහන් පරිදි නිර්වචනය කළ හැකිය

"අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන, අනාගතයේ දී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ, ව්‍යාපාරය විසින් පාලනය කෙරෙන සම්පත් වත්කම් වේ."

ව්‍යාපාරයක වත්කම් වර්ගීකරණය
  •     ජංගම වත්කම්
  •     ජංගම නොවන වත්කම්


ජංගම වත්කම්
සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල දී මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ පාවිච්චි කිරීම, විකිණීම හෝ මුදල් බවට පත්වීම සිදුවන්නේ යැයි අපේක්ෂා කෙරෙන වත්කම් ජංගම වත්කම් වේ.
උදා : විකිණීමට තබා ඇති තොගය
         ලැබිය යුතු ණය

ජංගම නොවන වත්කම්
ව්‍යාපාරයක ජංගම වත්කම් ලෙස සැලැකිය නොහැකි අනෙකුත් වත්කම් සියල්ල ජංගම නොවන වත්කම් ලෙස සලකනු ලබයි.
උදා: ඉඩම් හා ගොඩනැගිලි
        යන්ත්‍රෝපකරණ
        ලී බඩු හා උපකරණ

        මෝටර් රථ

3 comments:

ව්‍යාපාර සංවිධාන හැදින්වීම හා වර්ගීකරණය කිරීම

ව්‍යාපාර සංවිධාන හැදින්වීම ජනගහනයේ වර්ධනයත් සමඟ ව්‍යාපාර විසින් සිය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරිමේ කටයුතු පුළුල් කර ඇත. එමනිස...